Official handing over of Mapanavathur Vocational Training Center to Hemamali Vidyalaya, Kandy
2022 July 27
...
© Central Province Media Unit
warning
English translation not available

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යන මාපනාවතුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රය , මහනුවර හේමමාලි බාලිකා විදුහලේ ප්‍රාථමික අංශය සඳහා නිල වශයෙන් ලබා දීම 2022 ජූලි 27 වන දින පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. සුබ මොහොතින් මෙම පැවරීමට අදාළ ලිපිගොනුව මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර ලලිත් යූ. ගමගේ මහතා විසින් මහනුවර හේමමාලි බාලිකා විදුහලේ විදුහල්පතිනි තුෂාරි ජයරත්න මහත්මිය වෙත භාර දෙන ලදී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ පර්චස් 52 ක බිම් කඩක තුන් දහසකට අධික සිසුවියන් පිරිසක් ඉගෙනුම ලබන හේමමාලි බාලිකා විදුහල මේ තීන්දුවත් සමඟ පෙරට වඩා දක්ෂතා පෙන්නුම් කරන බාලිකා පාසලක් වනු ඇති බව යි. උක්ත තීන්දුව කරා එළඹීමට පෙරාතුව තමා පුළුල් අධ්‍යයනයක නිරත වූ බව ද, විරෝධතා සලකා බැලූ බව ද පැවසූ ඔහු වඩා හොඳ එකඟතාවකට පැමිණෙනු සඳහා එය උපකාරී වූ බව ද කියා සිටියේ ය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා පවසා සිටියේ මධ්‍යම පළාතේ පාසල් අධ්‍යාපනයට අදාළ ව මේ ඓතිහාසික මොහොතක් බව යි. එසේම මේ තීන්දුව ක්‍රියාත්මක කිරීමේදී මතු වූ අභියෝග ද ඔහු පැහැදිලි කළේ ය. හේමමාලි බාලිකාවේ විදුහල්පතිනිය අමතමින් ඔහු අවධාරණය කළේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරි වර්ෂ පහක කාලයක් සඳහා වූ උපාය මාර්ගික සැලැස්මක් සකස් කරන ලෙස යි.

පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ද හේමමාලි බාලිකාවේ අනාගත සාර්ථකත්වය පිළිබඳ විශ්වාසය පළ කරමින් අදහස් දැක්වී ය.

හේමමාලි බාලිකාවේ සහකාර විදුහල්පති කෝමාරිකේ රාහුල හිමියන් ද, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න මහතා ඇතුළු පළාත් සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, හේමමාලි බාලිකාවේ ආචාර්ය මණ්ඩලයේ නියෝජිතයන් ද, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව සහ ක්‍රීඩා නායිකාව ද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

- මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකය